![]() |
| Hope: The Light Reach |
2026 නොවැම්බර් 18 වන දින, නාසා (NASA) ආයතනයේ වොයේජර් 1 (Voyager 1) අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට 'ආලෝක-දිනක්' (light-day) තරම් දුරකට ළඟා වීමත් සමඟ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 1977 වසරේදී අභ්‍යවකාශගත කරන ලද මෙම යානය, පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 25.9ක් පමණ දුරක් ගමන් කළ මිනිසා විසින් නිර්මාණය කරන ලද පළමු වස්තුව බවට පත්ව ඇත. මෙයින් අදහස් වන්නේ, ආලෝකයේ වේගයෙන් ගමන් කරන රේඩියෝ සංඥාවකට පෘථිවිය සහ මෙම යානය අතර එක් දිශාවකට ගමන් කිරීමට දැන් සම්පූර්ණ පැය 24ක කාලයක් ගත වන බවයි.
මෙම සුවිශේෂ අවස්ථාව සලකුණු කිරීම සඳහා නාසා ආයතනය විසින් හඳුන්වා දුන් වැඩසටහන Shine Bright for Voyager's Light-Day ලෙස නම් කෙරුණා. එය සැමරීම සඳහා 2026 නොවැම්බර් 17 වැනි දින හිරු බැස යාමෙන් පසු, ලොව පුරා සිටින ජනතාවට ප්‍රසිද්ධ ස්ථානවලට එක්ව, අහස දෙසට ආලෝකය යොමු කරන ලෙසත්, විදුලි පන්දම්, ජංගම දුරකථන හෝ NASA ආයතනයේ online flasher භාවිතයෙන් 'Voyager' යානයේ හඳුනාගැනීමේ සංඥාව වන 'VGR' යන්න මෝර්ස් කේත (morse code) ක්‍රමයට දැල්වීමට සලස්වන ලෙසත් NASA ආයතනය ආරාධනා කළේය.
2026 නොවැම්බර් 18 දවස උදාවෙද්දි මේ පෘථිවියේ තවත් පැත්තක රාත්‍රීය උදාවෙමින් පැවැති අතර, ඒ අහස් ආලෝකෝමත් කරමින් රැස් වූ අය ඉන්න ඇති අතර ගෙවී ගිය පෙර දා රැයේ එම සැමරුමට සහභාගී වූවන් ද බොහෝ ඇති.
මෙම විශේෂ අවස්ථාව අපිට වැදගත්, අපූරු පණිවුඩයක් ගෙන එයි.
අප සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන ග්‍රහලෝකවලින් ඔබ්බට, අඳුර මැදින් කුඩා අභ්‍යවකාශ යානයක් තවදුරටත් ගමන් කරමින් සිටී. 1977 වසරේදී දියත් කරන ලද 'වොයේජර්' (Voyager) යානය සතු පරිගණක බලය, අද ඔබගේ සාක්කුවේ ඇති ජංගම දුරකථනයටත් වඩා අඩුය. එහි සිතියමක් නැත, ගමනාන්තය දැක්වෙන සලකුණු හෝ පුවරු එහි නැත, ගමනේ අවසානයේ එය බලා සිටින කිසිවෙකු ද නැත. එහෙත් එය සිය ගමන අත් නොහැර ඉදිරියටම යයි. එය තමා සමඟ රැගෙන යන්නේ රන් තැටියක් (Golden Record), ඒ අතර ලොව භාවිත බසා 55කින් සරල සුබ පැතුම් කිහිපයක් සහ නිහඬ පණිවිඩයකි: "අපි මෙහි සිටියෙමු; අපට බලාපොරොත්තු තිබුණි".
ඒ සුබපැතුම් අතර සිංහල බසින් "ආයුබෝවන්!" හඬ ද වීම සුවිශේෂයකි.
2026 නොවැම්බර් 17 රාත්‍රියේ, ලොව පුරා සිටින මිනිසුන් මොහොතකට නතර වී, මෙම දීර්ඝ ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සිහිපත් කළහ. ඇතැමුන් විවෘත අහස යට එක්රැස් වූහ; තවත් සමහරු ජනේල අසල ඉටිපන්දමක් දල්වා තැබූහ; තවත් පිරිසක් අහස දෙස බලා කල්පනා ලෝකයක ගිලී සිටියහ. තවත් සමහරු නිහඬවම මෙය සමරන්නට ඇත - එය කිසිදු වරදක් නැති, ඉතා අගනා දෙයකි. යමක් සැබෑවක් වීමට නම්, එය දකින්නට විශාල පිරිසක් සිටිය යුතුම නැත.
ජීවිතය ද බොහෝ විට ඒ වගේය, කිසිවෙකු විසින් සිතියම්ගත නොකළ ජල තලය හරහා සිදු කෙරෙන දීර්ඝ ගමනකටයි. අපි බලාපොරොත්තු පෙරදැරිව ගමන ආරම්භ කරමු. නමුත් ඇතැම් විට, ඉදිරියට යා යුතු මාවත අපැහැදිලි වන, අහස අඳුරු වන සහ අප පැමිණි තැනින් ලැබෙන සංඥා පවා ඉතා ක්ෂීණව දැනෙන අවස්ථා අපට හමුවේ. එවිට අපි මෙසේ සිතන්නට ඉඩ ඇත: "මම තවමත් නිවැරදි මාවතේම ද? යමෙකුට මා පෙනෙනවාද? මා කරන දේට යම් වැදගත්කමක් තිබේද?"
අන්න එවන් අවස්ථාවක 'වොයේජර්' යානයේ ගමන මතක් කරන දෙන පාඩම වන්නේ : "දිගටම ඉදිරියට යන්න; ඔබේ ආලෝකය නිවෙන්නට නොදී තබා ගන්න."
එම යානයට කිසි දිනෙක මුළු ගමන් මාර්ගයම එකවර දැකීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. එයට අවශ්‍ය වූයේ තමා තුළ ඇති ස්ථාවර ආලෝකය, ශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම පමණි - දවසින් දවස, සැතපුමෙන් සැතපුම, අවශ්‍ය විටෙක ගමන් මගෙහි කුඩා වෙනස්කම් සිදු කර ගනිමින් එය ඉදිරියට ගියේය. විශාල දුර ප්‍රමාණය හෝ අවට ඇති නිශ්ශබ්දතාව, එහි ආලෝකය අඩුවීමට හේතු වූයේ නැත. අතිවිශාල, ශීතල සහ අඳුරු අවකාශය තුළ පවා, එය නිර්මාණය කරන ලද අරමුණ වෙනුවෙන් නොකඩවා සිය කාර්යය ඉටු කළේය.
'වොයේජර්' (Voyager) යානය සිහිගන්වන 'ආලෝක දිනය' (Light-Day) වෙනුවෙන්, 'ෂයින් බ්‍රයිට්' (Shine Bright) වැඩසටහනේ හරය මෙයයි, එය අපට මතක් කර දෙන්නේ:
- යමක් නොදැන සිටීම යනු, ඔබ අතරමංවී ඇතැයි අදහස යන නොවේ. සිතියම්ගත නොකළ තැන් යනු, තවමත් කිසිවෙකු විසින් සිතියමක් සකසා නොමැති ස්ථාන පමණි.
- ඔබේ ආලෝකය අහස මත රඳා පවතින්නේ නැත. ලෝකය අඳුරු වන විට, ඔබ තුළ ඇති ආලෝකය වඩාත් වැදගත් වේ.
- සෙමින් සිදුවන දියුණුව වුවද දියුණුවක්මය. 'වොයේජර්' යානය පෙර ගමන් කළ වේගයට වඩා වේගයෙන් ගමන් නොකළද, එය අභ්‍යවකාශය හරහා බොහෝ දුරක් ගමන් කර ඇත.
- ඔබේ අරමුණ ඔබ සිතනවාටත් වඩා දුරකට ගමන් කිරීමට සමත්ය. කාරුණික වචනයක්, නිහඬ උත්සාහයක් හෝ කුඩා ධෛර්යවන්ත ක්‍රියාවක්, ඔබ කිසිදා නොදකින ස්ථාන කරා ළඟා විය හැකිය.
එබැවින් අද රාත්‍රියේ, ඔබ කොතැනක සිටියත් — එය උත්සවාකාරයෙන් පිරුණු තැනක් හෝ ඔබ තනිව සිටින නිහඬ ස්ථානයක් වුවත් — මොහොතකට නතර වන්න. ඉහළ බලන්න, ගැඹුරු හුස්මක් ගන්න, තවමත් අභ්‍යවකාශයේ ගමන් කරමින් සිටින තෙරක් නැති මේ විශ්වයට සාපේක්ෂව ඒ කුඩා සංචාරකයා ගැන සිහිපත් කරන්න.
ඔබ තුළ ඇති ආලෝකය, ශක්තිය විශ්වාස කරන්න. අහස අඳුරු වුවද, දිගටම ඉදිරියට යන්න.
මක්නිසාද යත්, කොහේ හෝ සිටින යම් කෙනෙකු, තවමත් මඟ පෙන්වීම ලබන්නේ ඔබ තුළ ඇති එම ආලෝකයෙනි.
ඔබේ Voyageයේ ගමන සාර්ථක වේවා!
May you live long Voyager 1!



